Pages

Saturday, 23 June 2012

ඔහොම යං...



මිස්‌බා ප්‍රමුඛ පාකිස්‌තානුවන්ගේ ඇස්‌ රතු ගන්වමින් මහේල ඇතුළු ශ්‍රී ලංකාව කැකිරි පැලුවේය. මාස 16 කට පසුව එක්‌දින තරගාවලි ජයක්‌ ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකාව සතුව තිබූ තරගාවලි පරාජයේ නියඟය පහව ගියේය. එය අති විශිෂ්ට ජයග්‍රහණයකි. කණ්‌ඩායමක්‌ ලෙස සාමූහිකව ලබාගත් ජයග්‍රහණයකි.

'අපේ කණ්‌ඩායමේ සියලුම සාමාජිකයන් තරගාවලිය පුරාවටම හොඳින් ක්‍රීඩා කළා. අපි අමාරුවේ වැටුණ අවස්‌ථාවලදී කවුරු හරි ඉදිරිපත් වෙලා අපිව ජයග්‍රහණය කරා රැගෙන ගියා.' යනුවෙන් මහේල ජයග්‍රහණයේ සතුට මාධ්‍ය හමුවේ තැබුවද මිස්‌බා පැවසුවේ, 'අපි පසුගිය අවුරුදු එකහමාරක ඉඳන් හොදින් ක්‍රීඩා කළා. නමුත් මේ තරගාවලියේ අපේ පන්දු යවන්නන් සහ පිතිකරුවන් වගේම පන්දු රැකීම තරගයක්‌ ජයග්‍රහණය කරවීමට තරම් ඉස්‌මතු වුණේ නැහැ. පන්දු රැකීම ගොඩක්‌ දුර්වල වුණා.' යනුවෙන් මිස්‌බා සිය දෑස්‌ රතු කරමින් මාධ්‍ය හමුවේ පැවසීය.

තරගාවලිය 2-2 ක්‌ ලෙස සමකර ගැනීමට පාකිස්‌තානයට හොඳ හැටි අවස්‌ථාව තිබුණද අවසන් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්‌ පෑ ඒ හපන්කම පාකිස්‌තානය සතුව තිබූ ජය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට සමත්විය. කලකට පසු ද්වන්ධ සටනකින් ප්‍රතිවාදියා පරාජය කිරීම වෙනුවෙන් මැතිව්ස්‌ අවසානයේදී හුදකලා සටනක නිරත විය. ඒ සඳහා ජීවන් මෙන්ඩිස්‌ සහ නුවන් කුලසේකර හැකි පමණින් දායකත්වය අවසන් මොහොතේ ලබා නොදෙන්නට තරගාවලි ජය ශ්‍රී ලංකාවට නොලැබෙන්නට ඉඩ තිබුණි.

2011 වසරේ පෙබරවාරි මස බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ලද පළමු ජයග්‍රහණයද මෙය විය. ලෝක ක්‍රිකට්‌ අනුශූරයන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය තිලකරත්න ඩිල්ෂාන් අතට පත්විය. ඒ අතරතුර කාලයේදී ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ ටේ්‍රවර් බේලිස්‌ ඉවත් විය. පසුව පැමිණි ස්‌ටුවර්ට්‌ ක්‌ලාක්‌ පුහුණුකරු ධුරයෙන් ඉවත් විය. ඉන්පසුව රොමේෂ් රත්නායක කෙටි කාලයක්‌ ශ්‍රී ලංකා පුහුණුකරු ධුරය දැරුවේය. අනතුරුව ඔස්‌ටේ්‍රලියාවට හුරේ තියන්නට මෙරටට පැමිණි ජෙෆ් මාර්ෂ් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්විය. එයද ගඟට කැපූ ඉනි මෙන් විය. අවසානයේදී ෆෝඩ් වත්මන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය. මාස 16 ක්‌ ඇතුළත පුහුණුකරුවන් රෑනක්‌ සමග ඔට්‌ටුවීම අදාළ තරගාවලි පරාජයට හේතුව විය හැකිය. එසේත් නැතිනම් නායකත්වය විටින් විට වෙනස්‌ වීම අදාළ තරගාවලි පරාජයන්ට හේතුව විය හැකිය. කෙසේ වෙතත් ක්‍ෂණික වෙනස්‌කම්

අහවර වී ස්‌ථාවර පුහුණුකරුවකු සහ නායකයකු ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවැනි තරගාවලියම ජය ගත්තේය. ඒ පාකිස්‌තානයට එරෙහිව 3-1 ක්‌ ලෙස නොව තෙවැනි තරගය වැස්‌සට සේදී නොයන්නට 4-1 ක්‌ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්‌ථාව තිබෙන්නට ඇතැයි අපගේ වැටහීමය.

අවසන් මාස 12 ක පමණ කාලයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පිතිකරුවන් දුර්වල නොවීය. එහෙත් කණ්‌ඩායමක්‌ ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් එම පිතිහරඹ දක්‍ෂතාව ඉස්‌මතු නොවීම හේතුවෙන් තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට නොලැබිණි. එයට හේතුව තට්‌ටු මාරු ක්‍රමයට පුහුණුකරුවන් මාරු වීමද විය හැකිය. ගෙවී ගිය මාස 6 තුළදී ශ්‍රී ලංකාව සහභාගි වූ එක්‌දින තරග 24 කදී ජයග්‍රහණ 10 ක්‌ ලබද්දී පරාජයක්‌ 12 ක්‌ ලබා තිබේ. ඒ අතරතුර කාලයේදී කුමාර් සංගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් ලොව එක්‌දින පිතිකරුවන් අතරින් පෙරමුණට පැමිණ තිබේ. ගෙවී ගිය මාස හය තුළදී ලොව එක්‌දින පන්දු යවන්නන් අතරින් ලසිත් මාලිංග තරග 23 කදී කඩුලු 36 ක්‌ ලබා පෙරමුණ ගෙන ඇත. එහි දෙවැනි ස්‌ථානය නුවන් කුලසේකර තරග 24 කදී කඩුලූ 23 ක්‌ ලබා ඇති අතර එම ලැයිස්‌තුවේ තෙවැනි ස්‌ථානයේ පසුවෙන තිසර පෙරේරා තරග 14 කදී කඩුලු 22 ක්‌ ලබා තිබේ.

පාකිස්‌තානය සමග පැවැති එක්‌දින තරගාවලියේදී පිතිකරුවන් අතරින් අසාර් අලීට (217) පමණක්‌ පසුපසින් කුමාර් සංගක්‌කාර (164) සහ තිලකරත්න ඩිල්ෂාන් (156) පසුවේ. වත්මන් ලොව භයානකම පන්දු යෑවීමේ බලකාය බවට පත්ව ඇති පාකිස්‌තාන් පන්දු යවන්නන් අභිබවා තරගාවලියේ තිසර පෙරේරා (11), ලසිත් මාලිංග (7) සහ නුවන් කුලසේකර (7) කඩුලූ ලබා ගැනීමෙන් ඉදිරියෙන් පසුවේ. එහිදී කුලසේකරගේ එක්‌ පන්දුවාරයකට ලබාදී ඇති දළ ලකුණු වේගය 3.91 ක්‌ වශයෙන් සටහන් වන අතර ලසිත් මාලිංග පන්දුවාරයකට 4.42 ක්‌ ලබා දී තිබේ.

ශ්‍රී ලංකා අනාගත ක්‍රිකට්‌ වෙනුවෙන් හොඳ 'ෆයිටර්ලා' බව මැතිව්ස්‌, තිසර සහ චන්දිමාල් මෙම තරගාවලියේදී ඔප්පු කර පෙන්වීමට සමත් විය. අවසන් තරගයේ වීරයා වූ මැතිව්ස්‌ සිය වයසටත් වඩා දක්‍ෂතා අතින් මුහුකුරා ගිය ක්‍රීඩකයකු බව මහේල පවසයි. පීඩනය දරා ගෙන තරගයක්‌ අවසන් කිරීමට ඇති හැකියාව මැතිව්ස්‌ යළිත් වරක්‌ ක්‍රියාවෙන් පෙන්වීය. මේ සියලු දේ ඉදිරියට රැගෙන යැමට නම් දක්‍ෂ නායකයකු සහ පුහුණුකරුවකු අවශ්‍යම ඇත. දැන් එය ලැබී තිබෙන වග පැහැදිලි වේ.

අතීතයේ ක්‍රිකට්‌ තේරීම් කමිටු ඇතුළුව මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට සිදුවු වැරැදි පිළිවෙත් හේතුවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රාශියක්‌ අහිමි විය. දැන් යළිත් කණ්‌ඩායම ශක්‌තිමත් වී ඇත. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මැල් තවමත් අඩ නින්දේ සිට තේරීම් කරනවා විය හැකිය. තරග ක්‍රීඩා කළ නොහැකි වුවද බංකුවේ සිටිමින් එදා වේල තරකර ගැනීමට මෙන්ම දිල්හාර ප්‍රනාන්දු යළිත් වරක්‌ ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට මැල් තීරණය කළේය. පන්දුවක්‌වත් හරි හැටි අල්ලා ගැනීමට නොහැකි දිල්හාරට පන්දු යෑවීමට නොහැකි නම් සංචිතයේ තබා ගැනීමෙන් කුමන පලක්‌ද යන්න මැල්ට නොවැටහීම මෙරට ක්‍රිකට්‌ වෙනුවෙන් කණගාටුදායක සිදුවීමකි. දිල්හාර කණ්‌ඩායමට පැමිණියේ දක්‍ෂතා දක්‌වමින් සිටි ධම්මික ප්‍රසාද්ව ඉවතට ඇද දමමිනි. ධම්මික ප්‍රසාද් පන්දු යෑවීමෙන් පමණක්‌ නොව පිතිකරණයෙන් සහ පන්දු රැකීමෙන් දිල්හාරට වඩා ගවු ගණනක්‌ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයකි. ඉතිං එය වෙනස්‌ කළ හැක්‌කේ මැල්ට පමණි. මුළු රටම මැල්ගේ එම නුසුදුසු තීරණය විවේචනය කරනු ඇත. මේ ඇස්‌ පනා පිට පේන දෙය විය හැකිය. ශ්‍රී ලංකා 'ඒ' සංචිත තේරීමේදී මැල් ප්‍රමුඛ තේරීම් කමිටුව විසින් සුදුස්‌සන් කපා දැමූ අවස්‌ථා මෑතකදීද වාර්තා විය. එවැනි තේරීම් මගින් පාකිස්‌තානයට එරෙහිව ලබා ගත් තරගාවලි ජයග්‍රහණ ඉදිරියේදී පරාජයන් බවට පත්වීමට ඉඩ ඇත. එනම් දැන් අසන්ත මැල් දක්‍ෂයා වෙනුවෙන් නැගී සිටිය යුතුය.

2007 සහ 2011 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලි දෙකෙහිදීම ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්විය. මීළග 2015 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය ජය ගැනීමට නම් මෙම කණ්‌ඩායම ඉදිරියට යා යුතුය. එහෙත් මහේල නායකත්වය දරන්නේ කොපමණ කාලයකටද? එබැවින් ඔහුගෙන් විමසන ලදුව 'දැන් තත්ත්වය හොඳ වුණත් ඉදිරියේදී මොන වාතාවරණයක්‌ වෙයිද කියන්න බැහැ. කොහොමත් 2015 ට වඩා මම හිතන්නෙ ඉදිරි මාස හතර පහ ගැන විතරයි. රටේ සහ කණ්‌ඩායමේ අවශ්‍යතාව මත මට කළ හැකි කාර්යක්‌ තිබෙනවා නම් ඒ දෙය කිරීමට මා පසුබට වන්නේ නැහැ.' යනුවෙන් මහේල පැවසීය. මහේල වැනි පරිණත නායකයකු 2015 ලෝක කුසලාන වන තෙක්‌ නායකත්වයේ සිටීම ලෝක කුසලානයට පෙර තව බොහෝ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට පිටිවහලක්‌ වනු ඇත. විය යුත්තේ සෙසු බලධාරීන්ද සද්භාවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සඳහා සේවය කිරීම පමණි.

දැන් එක්‌දින තරගාවලියේ ලබාගත් පන්නරය සමග ශ්‍රී ලංකාව පළමු ටෙස්‌ට්‌ තරගයට සහභාගි වෙමින් සිටිති. වසර එක හමාරකින් පසුව ටෙස්‌ට්‌ තරගාවලි ජයක්‌ ලබා ගැනීමටද අපොහොසත්ව සිටින ශ්‍රී ලංකාවට එම අභියෝගය ජය ගැනීමට මෙවර ටෙස්‌ට්‌ තරගාවලියේදී හැකියාවක්‌ ඇත. ඒ එක්‌දින තරගාවලියේදී මෙන් කණ්‌ඩායමක්‌ ලෙස එකට ක්‍රීඩා කිරීමෙනි. දැන් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට සේන්දු වී ඇති බැවින් 'ඔහොම යං' යනුවෙන් ප්‍රේක්‍ෂකයෝ ශ්‍රී ලංකා කණ්‌ඩායමට කියනු ඇත. එය කණ්‌ඩායමකට ජයග්‍රහණයේදී තව තවත් දිරිගන්වන කියමනකි.

1 comment:

  1. සිංහයෝ ආයේ නැගිටිනවා හැබැයි කකුලෙන් අදින්නේ නැත්තම්..

    ReplyDelete