Pages

Saturday, 16 July 2016

ගුරු'ගේ තුරුලට ගිය ජුනෝ




අප සෞරග්‍රහ මණ්‌ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්‌පති ග්‍රහයාගේ තොරතුරු ලබා ගැනීම සඳහා මීට වසර 05 කට පෙර අභ්‍යවකාශ ගත කළ 'juno' අභ්‍යාවකාශ යානය සාර්ථකව බ්‍රහස්‌පති ග්‍රහයාගේ කක්‍ෂගත වූ බව ඇමෙරිකානු නාසා (NASA) ආයතනය සතුටින් නිවේදනය කරයි. දැන් එම යානය බ්‍රහස්‌පති ග්‍රහයාගේ මතුපිට ඇති ඝන වායු වළාව තුළ කිමිදෙමින් එහි සමීප දර්ශන හා වැදගත් තොරතුරු පෘථිවිය වෙත ලබා දෙමින් සිටින්නීය.

මෙයට වසර 05 ට පෙර අභ්‍යවකාශ ගත කළ juno යානය මඟින් අප සෞරග්‍රහ මණ්‌ඩලයේ උපත පිළිබඳවත් බ්‍රහස්‌පති ග්‍රහයාගේ උපත පිළිබඳවත් සියලු තොරතුරු ලබාගත හැකි වේ යෑයි විද්‍යාඥයෝ විශ්වාසය පළකරති. පැයට සැතපුම් 20,000 ක වේගයෙන් අඳුරු, ගැඹුරු අභ්‍යවකාශයෙහි සැතපුම් බිලියන 1.8 ක්‌ දුර ගෙවා පසුගිය අඟහරුවාදා (ජුලි 05) උදැසන සාර්ථකව එය බ්‍රහස්‌පතිගේ කක්‍ෂගත වූ බව NASA විද්‍යාඥයෝ පැවසූහ. මෑතකදී සිදුකළ අභ්‍යාවකාශ පර්යේෂණ අතුරින් ඉතා සාර්ථක වැඩසටහන මෙය බව පවසන NASA ආයතනය මෙම අභ්‍යවකාශ යානය නිපදවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක්‌ වැයවූ බව ප්‍රකාශ කරයි. මෙහි ඇති අති සූක්‍ෂම, නවීන සංවේදක උපකරණ මඟින් මීට වසර බිලියන ගණනකට පෙර අපේ සෞරග්‍රහ මණ්‌ඩලයේ උපත කෙසේ සිදුවිණි දැයි යන්න පිළිබඳ වැදගත් තොරතුරු රාශියක්‌ රැස්‌කරගත හැකිවනු ඇතැයි ද එමගින් ග්‍රහලෝකවල උපත පිළිබඳ නිවැරැදි අදහසක්‌ ලබාගත හැකිවනු ඇතැයි ද විද්‍යාඥයෝ විශ්වාසය පළකරති. ඉතාම අවදානම් සහගත ප්‍රදේශයක්‌ වන බ්‍රහස්‌පතිගේ විකිරණ පටලය තුළටද කි¹ බැසීමට සැලසුම් කර ඇති මෙම යානය ඉදිරියේදී බ්‍රහස්‌පති ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයට කිලෝ මීටර් 26,000 තරම් සමීපයට ගොස්‌ එහි ඇති ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳවත් චුම්භක ක්‌ෂේත්‍රය පිළිබඳවත් නිවැරැදි තොරතුරු අපවෙත ලබා දෙනු ඇත.

බ්‍රහස්‌පති ග්‍රහයා අප සෞරග්‍රහ මණ්‌ඩලයේ 05 වැනි ග්‍රහලෝකය වන අතර විශාලතමයාද වේ. එහි අරය කි. මීටර් 69,911 කි. විෂ්කම්භය පෘථිවිය මෙන් 11 ගුණයකි. එහි ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියෙහි මෙන් දෙගුණයකට වඩා වැඩිය. එනම් පෘථිවියේදී රාත්තල් 200 ක්‌ බර දෙයක්‌ බ්‍රහස්‌පති මතදී රාත්තල් 480 ක්‌ බරය. එහි සිට සූර්යයාට ඇති දුර කි. මීටර් බිලියන 778.5 කි. එහි ස්‌කන්ධය අපේ පෘථිවිය මෙන් 317 ගුණයකි. මතුපිට උෂ්ණත්වය සෙන්ටිගේඩ් සෘණ 108 පමණ වන අතර හිරු වටා එක්‌ වරක්‌ යැමට ගතවන කක්‍ෂීය කාලය අවුරුදු 12 කි. හයිඩ්‍රජන් හා හීලියම් වැනි වායූන්ගෙන් සමන්විත ඝන වායු වළාවකින් වැසී තිබෙන බ්‍රහස්‌පතිට ප්‍රධාන චන්ද්‍රයන් 07 කු සිටී. 2018 පෙබරවාරි දක්‌වා මෙය juno අභ්‍යවකාශ යානය බ්‍රහස්‌පතිගේ ඇකයේ හිඳිමින් එහි සියලු තොරතුරු අපවෙත ලබාදීමට නියමිත අතර අද අප බ්‍රහස්‌පති ගැන සිතා සිටින බොහෝ කරුණු හෙට වන විට හුදු ප්‍රලාපයන් ද විය හැකිය. අපි හෙට වනතුරු බලා සිටිමු.